කාකි ඇඳුමින් මතු වූ අසීමිත ආදරය

මේසයක් සහ පුටුවක් නොමැතිව පාසල් ගමන අතරමඟ

නතර කිරීමට සිදුවූ දරුවෙකුට මිදිගම පොලිසියේ මැදිහත්වීමෙන් යළි පාසල් යාමට අවස්ථාව හිමිවුණි.

පාසැල් යාමට දැඩි කැමත්තෙන් පසුවූ පුංචි මලිඳුගේ ඒ පැතුම ඉටුවූ මොහොත එහි සිටි සියලුදෙනාම සංවේදී කිරීමට සමත් වුණි.

එකළොස් හැවිරිදි චමෙත් මලිඳු ප්‍රියෂාන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිදිගම ප්‍රදේශයේ පදිංචි ජේ.වී. ප්‍රියන්ත සහ කේ.එච්. රසිකා ලක්ෂානිගේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය. 

දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණදී සිටින එම පවුල ස්ථිර නිවසක් පවා නොමැතිකමින් පදිංචිව සිටින්නේ ප්‍රදේශයේ විවිධ ස්ථානයක්වලය. 

එවන් අපහසුතා මැද සිය පාසල් ගමන අතහැර දමන්නට මලිඳුට සිදුවන්නේ කැමැත්තකින් නොවේ.

කෙසේවෙතත් මාස කිහිපයකට පසුව යළිත් වරක් ප්‍රදේශයේ විදුහලකට මලිඳු ඇතුළත් කිරීමට මව්පියන් උත්සහ දරන්නේ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් පැවතීම හේතුවෙනි.

එහෙත් විදුහල් බලධාරීන් සඳහන් කර තිබුණේ විදුහලේ මේස සහ පුටුවල අඩුවක් පැවතීම හේතුවෙන් දරුවා පාසලට ඇතුළත් කරගැනීමටනම් මේසයක් සහ පුටුවක් රැගෙන එන ලෙසය.

එහෙත් ඒ සඳහාවත් ආර්ථික ශක්තියක් නොතිබීම හේතුවෙන් යළිත්වරක් මලිඳුගේ පාසල් ගමනට නැවතීමේ තිත තැබීමට සිදුව තිබිණි.

මේ දරුවා පිළිබඳව මිදිගම පොලීසියට දැනගන්නට ලැබෙන්නේ මේ අතරවාරයේය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන මහතා ඇතුළු මිදිගම පොලිසියේ නිලධාරීන් දරුවාගේ අධ්‍යාපන අයිතිය රැකදීමට මැදිහත් වන්නේ ඔහුට ඩෙස් එකක් සහ පුටුවක් සකසා දෙමිනි.

එයින්ද නොනැවතී මලිඳු මිදිගම ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කිරීමටද පොලීසිය මැදිහත් වේ.

ඉන්න තැනක්, කුසට අහරක් පවා නොමැතිව තම අනාගතය වෙනුවෙන් සිහින දකින පුංචි මලිඳුට උදව් කළ හැකි අයෙක් වෙතොත් එය මහඟු පිංකමක් වනු නොඅනුමානය.

වැඩි විස්තර - 071 859 2939 / 0412 261 667