ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතාගාරය මාස 3ක සිට මැරිලා

 ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතාගාරය මාස 3ක සිට මැරිලා

කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ අධිශීතාගාරය මාස තුනකට වඩා වැඩි කාලයක් ක්‍රියා විරහිතවීම හේතුවෙන් මෘත ශරීර නරක්වී අධික දුර්ගන්ධයක් හමා යන බව එම රෝහලේ සේවකයෝ පවසති. මෙම අධික දුර්ගන්ධය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට රාජකාරි කිරීමේදී අපහසුතාවට පත්වීමට සිදුව ඇත.

 

මෙම ශීතාගාරය අක්‍රියවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත. ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ ශීතකරණ තුළ මෘතදේහ හැටහයක් (66) පමණ තැබීමට පහසුකම් ඇත. මේ වනවිට මෘත ශරීරර තැන්පත් කිරීමේදී එයද ප්‍රමාණවත් නොවන බව මෘත ශරීරාගාර සේවකයෝ පවසති. මේ තත්ත්වය මත රෝහල් තුළදී මියයන පුද්ගලයන්ගේ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට රැගෙන එන මළ සිරුරු තැබීමේදී ගැටලු මතුව ඇත.

 

ඇතැම් මෘතදේහ කිසිම ආකාරයකින් හඳුනාගැනීමට නොහැකි මට්ටමට නරක්වී පවතින නිසා පරීක්ෂණ කටයුතු කිරීමටද අපහසුවී ඇත. මෙම මෘතදේහ ඉවත් කිරීම සඳහා ඇති ක්‍රමවේදයේ අඩුපාඩු හේතුවෙන්ද රෝහල් මෘතශරීරාගාරය තුළ මෙසේ නරක් වූ මළසිරුරු ගොඩ ගැසී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඇතැම් මළසිරුරුවල භාරකරුවන් සොයා ගැනීමේ නොහැකි තත්ත්වයක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Search