විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බුත්තල උක් ගොවි සේවක හමුවකදී කියයි
ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්ත ණය බරින් මිරිකිළා. වහාම රජය මැදිහත්වී එම අර්බුදයෙන් ආයතන ගොඩගෙන සේවකයින්ගේ සහ ගොවීන්ගේ අනාගත සුරක්ෂිත කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රේමදාස මහතා එසේ පැවසුවේ 02දා බුත්තල ශ්‍රී චන්ද්රමදුරාරාමයේ පැවති උක් ගොවීන්ගේ සහ සේවකයින්ගේ හමුවක් අමතමිනි. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
පැල්වත්ත සහ සෙවනගල ගොවීන්ට උක් ගස් සඳහා ගෙවිය යුතු මුදල් සහ උක් ගස් ප්‍රවාහනය කරන ලොරි රථවලට ගෙවිය යුතු මුදල් මාස ගණනකින් ගෙවා නැහැ. උක් ගස් භාර ගැනීම සීමා කරලා. මෙම තත්ත්වය මත සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වැසී යෑමේ තත්ත්වයකට පත් වෙලා. අප කිසිසේත් මෙම ආයතන දෙක වැසී යන තෙක් බලා සිටින්නේ නෑ. රජයට සහ විෂය භාර ඇමැතිවරයාට අපි බල කර සිටිනවා වහාම මැදිහත්ව මෙම ආයතන සුරැකීමට පියවර ගන්නා ලෙස. ජේ.ආර් ජයවර්ධන රජය යටතේ ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාවලින් දහස් සංඛ්‍යාත පවුල් ජීවත් වෙනවා. විශේෂයෙන් හය දහසකට අධික පිරිසක් මේවයේ සේවය කරනවා. ඊට අමතරව විශාල පිරිසක් කම්කරුවන් ලෙස සේවය කරනවා.
පැල්වත්ත කර්මාන්ත ආයතනයේ ස්ථිර සේවකයින් තුන්දහස් හත්සිය අනූපහක් සිටිනවා. ගොවීන් පන්දහස් හත්සියයක් උක් ගස් සපයනවා. ආයතනයේ සේවකයින්ට මාස කිහිපයක් තිස්සේ සේවක අර්ථ සාධක අරමුදලට යැවිය යුතු මුදල් රුපියල් ලක්ෂ තුන්දහස් දෙසියය හතළිහක් යවා නැහැ. ලංකා බැංකුවෙන් 2024 වර්ෂයේ රුපියල් ලක්ෂ පන්දහසක් සහ පසුව තවත් රුපියල් ලක්ෂ දසදහසක් ලබාගෙන තිබෙනවා. එසේ ලබාගෙන ඇත්තේ වැටුප් ගෙවීමටයි.
සෙවනගල සීනි සමාගමේ සේවකයින් එක්දහස් තුන්සියයක් පමණ සිටිනවා. ගොවීන් තුන් දහස් නවසියයක් උක් ගස් සපයනවා. ආයතනය ලක්ෂ දෙදහස් පනහක් ගොවීන්ට ගෙවිය යුතුව තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලට ලක්ෂ එකසිය පනහක් ගෙවිය යුතුයි. වැට් බද්ද ලෙස රුපියල් ලක්ෂ හාරදහසක්ද සැපයුම්කරුවන්ට ලක්ෂ දාහක්ද ගෙවීමට තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ආයතනය කඩා වැටිලා. එම තත්ත්වයෙන් ගොඩගැනීමට රජය ක්‍රියා කළ යුතුයි. ජනාධිපතිවරයා මාලදිවයිනේදී කිව්වා රජයට ඕන තරම් මුදල් තිබෙන බව. එසේ නම් මෙම පැල්වත්ත සහ සෙවනගල සීනි ආයතවල ණය බර ගෙවා ඒවා ගොඩගැනීමට පියවර ගන්න.
ගොවීන්ට සහ සේවකයින් කිසිම අයෙකුට අසාධාරණයක් වීමට අපි ඉඩ තියන්නේ නැහැ.
කිසියම් හේතුවක් නිසා ආයතන වසා දැමුවහොත් ඊට එරෙහිව පෙරමුණ ගන්නවා. ගොවීන් සහ සේවකයින්ගේ යුතුකම ආයතනය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කිරීමයි. ඒ සඳහා එකමුතුව වැඩ කරන්න.
මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් පා.ම ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, පත්කළ පා.ම රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුද සහභාගී වූහ.
රජය වහාම මැදිහත්වී සෙවනගල සහ පැල්වත්ත අර්බුදයෙන් ගොඩගෙන සේවකයින්ගේ සහ ගොවීන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න
