ජනපති හිමිකම් ලබා ගැනීමේ සටනට රනිල් නෑ

ජනපති හිමිකම් ලබා ගැනීමේ සටනට රනිල් නෑ

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා අධිකරණවලට යෑමේ අවශ්‍යතාවක් තමාට නොමැති බවත් හිටපු ජනාධිපතිවරුන් අධිකරණය හමුවට ගියහොත් තමා ඊට සහාය නොදෙන බවත් රනිල් වික්‍රමසිංහ එහිදී පවසා තිබේ.

වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකර අධිකරණ ක්‍රියාවලිය සිදුකරන ලෙසට හිටපු ජනපතිවරුන්ට නීති උපදෙස් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු වරප්‍රසාද අඩු කිරීමට එරෙහිව කණ්ඩායමක් වශයෙන් මේ දක්වා සාකච්ඡා කර නැතැයි ද රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු සමග අවස්ථා දෙකකදී හැරෙන්න කල්ලි ගැසී සංවිධානය වී වරප්‍රසාද පනත සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව ද හෙතෙම කියා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක් අවස්ථාවකදී තමා සමග මේ සම්බන්ධයෙන් කතා කළ බවත් තවත් අවස්ථාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවී ජනපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව අදහස් ඉදිරිපත් කළ බවත් ඔහු පවසා තිබේ.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂය අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ බව එජාප හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

එහිදී පක්ෂයේ ශාඛා සමිති, බල මණ්ඩල සහ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් සැකසීමට තීරණය කළ බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය මෙන් ම මානව සම්පත් දියුණු කිරීමටත්, පක්ෂය නවීකරණයේදී දේශපාලන වශයෙන් අධ්‍යාපනයක් ලබාදීමටත්, පක්ෂයේ ප්‍රමුඛ නායකයන්ට දිස්ත්‍රික් දෙක තුනක් භාරදී ප්‍රතිසංවිධාන කටයුතු පැවැරීමටත් මෙහිදී අවධානය යොමුවූ බවද හෙතෙම කීය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය ලබන සැප්තැම්බර් 6 වන දා ට පැවැත්වීමටත්, එජාප සම්මේලනය මාර්තු මාසයේදී පැවැත්වීමටත්, එජාප නීතිඥ සංගමය අලුතින් ස්ථාපිත කිරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බවද හිටපු ජනපතිවරයා පැවැසීය.

Search