පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඒ ඒ පළාත් පාලන ආයතනවල සියයට 50 ප්‍රතිශතයක් තනිව ලබාගැනීමට නොහැකි වුවහොත් සිදුවන දේශපාලන පෙරළියට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මේ වනවිට රහස් සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන අය වටා මෙම රහස් සාකච්ඡා කේන්ද්‍රගත වෙමින් තිබෙන බව වාර්තා වේ.
සියයට 50 ප්‍රතිශතයක් තනි පක්ෂයකට ලබාගත නොහැකි වුවහොත් ඒ ඒ පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති තනතුරු සඳහා සභිකයන් පත්වීමට නියමිතව ඇත්තේ රහස් ඡන්දයෙනි.
මේ නිසා මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මෙවර ඡන්දය ඉතා තීරණාත්මක ප්‍රතිඵලයක් ලබාදෙනු ඇතැයි ආරම්භයේ සිටම කැෆේ ඇතුළු මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දී තිබිණි.
ඒ අනුව ලබාගන්නා ඡන්ද ප්‍රතිඵල අනුව ඒ ඒ පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය දක්වා වූ කාලය ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසේ.
සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස දැනට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අයත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බැවින් එම ප්‍රතිඵලය අනුව කිසියම් ආකාරයකට අනේයාන්‍ය සන්ධානගතවීමක් කළ හැකිද යන්න සම්බන්ධයෙන් අදාළ රහස් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.
කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ 10 වැනිදායින් පසු ආණ්ඩුවේ වෙනසක්, අගමැතිවරයාගේ වෙනසක්, දූෂිතයන් එක්ක බෑ සහ ආණ්ඩු බලය අල්ලන බවට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව වේදිකාවේ මතුවූ ප්‍රකාශ හේතුවෙන් දේශපාලනඥයන් අතරද යම් දේශපාලන කුනාටුවක් සිදුවේද යන්න සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.
මෙයට අමතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික සභාවේ සභාපති පී. දිගම්බරම් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් රැසක් මේ සම්බන්ධ සිය පක්ෂය තුළ සාකච්ඡා පවත්වා තිබේ.
නයන තරංග ගමගේ
rivira