රුසියාවේ ගුවන් අනතුරකින් 49ක් මරුට

රුසියාවේ ගුවන් අනතුරකින් 49ක් මරුට

අංගාරා ගුවන් සේවයට අයත් ඇන්ටනොව් An-24 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාවේ ඈත පෙරදිග අමූර් කලාපයේ ටින්ඩා නගරය ආසන්නයේදී 2025 ජූලි මස 24 වන දින කඩා වැටී ඇත. යානයේ ගමන් ගත් ළමුන් පස් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනාම මෙම අනතුරින් මිය යන්නට ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.



ගුවන් යානය ටින්ඩා ගුවන් තොටුපළ වෙත ගොඩබෑම සඳහා අවසන් වරට සූදානම් වෙමින් සිටියදී ගුවන් ගමන් පාලක මැදිරිය සමඟ පැවති සබඳතාව සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති අතර, පසුව එය රේඩාර් තිරවලින් ද අතුරුදන් වී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය සහ දුර්වල දෘශ්‍යතාව මධ්‍යයේ යානය දෙවන වරටත් ගොඩබැස්වීමට දැරූ අසාර්ථක උත්සාහයකදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මූලික වාර්තාවන්ට අනුව, මෙම අනතුරට හේතුව නියමු දෝෂයක් විය හැකි බවට සැක පළ කෙරේ.

 


ප්‍රාදේශීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් මහතා ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර සිටියේ යානය සෙවීම සඳහා අවශ්‍ය සියලුම සම්පත් සහ කණ්ඩායම් යොදවා ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අනතුර සිදුවූ ස්ථානයෙන් දිවි ගලවා ගත් කිසිවෙකු සොයාගෙන නොමැති අතර, එම ප්‍රදේශය කඳු සහ ඝන වනාන්තරවලින් ගහන දුෂ්කර භූමියක් වීම හේතුවෙන් ගලවා ගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇත. අනතුරට පත් යානයේ සුන්බුන් ඝන වනාන්තර ප්‍රදේශයක විසිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් ද අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

අනතුරට පත් මෙම ඇන්ටනොව් An-24 යානය 1976 වසරේ නිෂ්පාදනය කරන ලද්දක් වන අතර, එය වසර 50කට ආසන්න පැරණි ගුවන් යානයකි. මීට පෙර අවස්ථාවකදී ද, ඝන මීදුම මධ්‍යයේ නියමු දෝෂයක් හේතුවෙන් රුස්එයාර් (RusAir) ගුවන් සේවයට අයත් Tu-134 යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගිය නමුත්, මෑත කාලයේ රුසියාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර ලෙස මෙම සිදුවීම සැලකේ.

 

Search