2022 මැයි මාසයේ දිවයින පුරා පැන නැඟුණු නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ අතිශය කම්පනීය ද්විත්ව ඝාතනයට අදාළ නඩු තීන්දුව පසුගිය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙම නඩු තීන්දුවට පාදක වූ විශේෂිත කරුණු සහ නීතිමය විග්‍රහය කොටස් වශයෙන් ද ලීඩර් වෙබ් අවකාශයේ මෙලෙස ඉදිරිපත් කර සිටිමු.
නිහාල් ෆැෂන් ආයතනයේ DVR යන්ත්‍ර දෙවන තට්ටුවේ අගුළු දමා ආරක්ෂිතව තිබුණු බවත්, එම ආයතනයේ තොරතුරු තාක්ෂණ කළමණාකාරු වන ඒ.ඒ.අමිල නිලන්ත අගුළු ඉවත් කර තමන්ට එකී DVR වෙත ප්‍රවේශය දුන් බවත් සාක්ෂිකරු කියා සිටියේය.
ඔහු පරීක්ෂා කරන විට DVR යන්ත්‍ර 5 ක් එම ආයතනයේ තිබුණු බවත්, ඒ 5 ම වැඩ කරන තත්ත්වයේ තිබුණු බවත් සාක්ෂිකරු කියා සිටින ලදී. සේනාරත්න එහි යාමට පෙර තුන්වන තට්ටුවට අදාල ඩීවී ආර් යන්ත්‍රය පොලිස් භාරයට ගෙන තිබුණු බව ඉන් පසුව සාක්ෂියට කැද වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගෝන වලගේ සහ කාන්තා පොලිස් පරීක්ෂක වසුන්දරාගේ සාක්ෂියෙන් තහවුරු විය. ඒ අනුව සේනාරත්න සදහන් කළ යන්ත්‍ර පහට එකී තුන්වන තට්ටුවට අදාල යන්ත්‍රය ඇතුලත් නොවන බව පෙනේ.

2024.03.28 පස්වරු 03.40 ට ආරම්භ වූ සටහන්වල 4, 5, 6 පිටුවල හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිලිගත්තේ සමහර කැමරා වලින් ලබාගත් වීඩියෝ කොටස් අතර කාල හිඩැස් පවතින බවයි. එම හිඩැස් විනාඩියකට වඩා දිගින් වැඩිය. කැමරා වලින් එක දිගට වීඩියෝ දර්ශනය වුවත්, එම රූපරාමු DVR යන්ත්‍ර වල ගබඩා (save) වන්නේ කොටස් වශයෙන් බවත්, එනම් යම් දත්තප්රමාණයක් සම්පූර්ණ වූ විට ඉබේම එය ගබඩා (save) වී වෙනත් කොටසක් එතැන් සිට ගබඩා වීම ආරම්භ වන බවත් සාක්ෂිකරු කියා සිටියේය. තත්ත්වය එසේ නම් එක් කොටසක් අවසන් වූ වහාම ඊලඟ තප්පරයේ සිට ඊලඟ කොටස ගබඩා වීම ආරම්භ විය යුතුය.

නමුත් නඩුවට ඉදිරිපත් කළ, සමහර කැමරා වලට අදාල සමහර අනුයාත වීඩියෝ කොටස් දෙකක් අතර කාල හිඩැස් දක්නට ඇත. DVR යන්ත්‍ර වලින් දත්ත පිටපත් කරන විට මනුෂ්‍ය මැදිහත් වීමක් නොවී යාන්ත්‍රිකව සිදුවන බවත්, තාක්ෂණික හේතූ මත එවැනි හිඩැස් ඇතිවිය හැකි බවත් ඔහුගේ පැහැදිලි කිරීමයි. නමුත් එක් කුඩා කාල හිඩැසකදී බොහෝ වටිනා සිදුවීම් ගබඩා (save) වීම මග හැරී යාමට ඉඩක් ඇත.
ආරක්ෂණ වීඩියෝ පද්ධතිවලින් බලාපොරොත්තු වන අරමුණ මෙවැනි කාල හිඩැස් නිසා සම්පුර්ණයෙන් ව්‍යර්ථ විය හැකිය. එවැනි දුර්වලතාවක් සහිතව ආරක්ෂණ වීඩියෝ තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ මන්දැයි සාක්ෂිකරු විස්තර නොකලේය. ඩී වී ආර් යන්ත්‍ර වල දෘඩ තැටියේ වීඩියෝ ගබඩා වන විට කාල හිඩැස් ඇති වුවහොත් අත්‍යවශ්‍යම සිදුවීමක් වීඩියෝගත නොවීමේ අවදානමක් ඇති බැවින්, ආරක්ෂණ වීඩියෝ උපකරණ නිෂ්පාදකයන් ඒ ආකාරයට ඒවා නිපදවන බව පිලි නොගනිමි. මෙම කාල හිඩැස් පිලිබදව සේනාරත්නගේ පැහැදිලි කිරීම නිවැරදි වීමේ හැකියාව අවම බව ඒ අනුව තීරණය කරමි.

DVR යන්ත්‍ර වල ගබඩා වී ඇති දත්ත වලට කී දෙනෙකු කුමන අවස්ථාවල ප්‍රවේශ වූයේදැයි එකී යන්ත්‍ර තුල වාර්තාගත නොවන බව හරස් ප්‍රශ්න වලදී සාක්ෂිකරු පිළිගෙන ඇත. එසේම 2024.04.04 ආරම්භක විභාග සටහනේ 5 වන පිටුවේ හරස් ප්රශ්නවල තුන්වන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිළිගෙන ඇත්තේ DVR යන්ත්‍රයක දත්ත ගබඩාවන දෘඪාංගය (hard drive) නියනකින් වුවත් පහසුවෙන් ඉවත් කළ හැකි බවයි. එසේම වීඩියෝවක් සිප් (Zip) කරන විට එහි ධාරිතාවය වෙනස් වන බවද ඔහු සදහන් කරන ලදී.
සේනාරත්න යන සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකු වුවද ඔහු විස්තරාත්මක සටහන් යෙදීමේදී ආරම්භක සහ අවසන් වේලාව, දිනය සහ ස්ථානය යොදා නැත. 2024.04.04 දින පස්වරු 2.00 සටහනේ 3 වන පිටුවේ මැද සිට ඉදිරියට 22, 27, 28, 32, 35 චූදිතයන් වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන විට සාක්ෂිකරු පිළිගත්තේ ඔහුගේ සටහන් පොතේ ඇත්තේ පරීක්ෂණයට අදාල සටහන් පමණක් බවත්,එම සටහන්වලවත් යතුරු ලියනය කළ දිනය හෝ වේලාව හෝ එම සටහන් පොතට ඇතුළත් කළ දිනය, වේලාව ඇතුළත් කර නැති බවයි. ඔහු නැවත ප්රශ්නවල ඒ සඳහා යම් පැහැදිලි කිරීමක් කළත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු වන ඔහු පොලිස් රෙගුලාසි වලට අනුව කටයුතු නොකලේ මන්දැයි නැවත ප්‍රශ්න වලදී පැහැදිලි පිලිගත හැකි හේතු ඉදිරිපත් නොකරන ලදී. ෆයිල් කවරයක දමාගත් කඩදාසි කීපයක් පමණක් සහිතව සාක්ෂි කූඩුවේ සිට ඔහු සාක්ෂි දුන්නේය.

මෙම සාක්ෂිකරු නිහාල් ෆැෂන් ආයතනයේ 3 වන තට්ටුවට ගොස් නැත. ඔහු පැහැදිලිවම කියා සිටියේ අපරාධය සිදුවූයේ තුන්වන තට්ටුවේද නැද්ද යන්න නොදන්නා බවත්, තුන්වන තට්ටුවට ඔහු නොගිය බවත්ය. ඔහුගේ රාජකාරිය වුයේ DVR යන්ත්‍රවල දත්ත පිටපත් කිරීම පමණක් බැවින් DVR යන්ත්‍ර තිබුණු ස්ථාන වලට මිස වෙනත් තට්ටුවලට ඔහු නොගිය බව කියා සිටියේය. ඔහුට පැවරුන රාජකාරිය අනුව එම පැහැදිලි කිරීම පිළිගත හැකි වුවත්, තුන්වන තට්ටුවට අදාල වීඩියෝ පටිගත වුණු DVR යන්ත්‍රයක් ඔහුට දක්නට ලැබුණේද නැද්ද යන්නවත් ඔහු ප්‍රකාශ නොකරන ලදී. අපරාධයක් සිදුවී ඇති ස්ථානයකට ගොස් දත්ත පිටපත් කරන විට වගකිව යුතු පොලිස් නිලධාරියෙක් වශයෙන් ඔහු අපරාධය සිදු වී තිබුනේ කුමන තට්ටුවක ද යන්න සොයාබලා එකී තට්ටුවේ වීඩියෝ අඩංගු DVR යන්ත්‍ර ඇත්ද නැද්ද යන්නවත් සටහන් කරගත යුතුව තිබුණි. වැදගත්ම කරුණ වන්නේ ඔහුගේ සමස්ථ සාක්ෂිය පුරාවටම නිහාල් ෆැෂන් ආයතනයේ තුන්වන තට්ටුවට අදාල DVR යන්ත්‍රයක් පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකිරීමයි.

එම සාක්ෂිකරුගෙන් පසුව පැමිණිල්ල විසින් සාක්ෂි ලැයිස්තුවේ අංක 156 ලෙස ලැයිස්තු ගත කර ඇති, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු - තොරතුරු ආරක්ෂණ, එස්.කේ.නුවන් සඳගිරි සාක්ෂියට කැඳවන ලදී. නඩුවට අදාල සිද්ධිය වූ 2022.05.09 දිනය ඇතුලත් කාලයේ ඔහු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ලෙස රාජකාරි කළ බවත්, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට බැඳුණේ 2023.07.04 දින බවත් ඔහු සාක්ෂි දී කියා සිටියේය. එම CERT ආයතනය සයිබර් ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන බව ඔහු විස්තර කරන ලදී. සාක්ෂි ආඥා පනතේ 45 වගන්තියේ දැක්වෙන විද්‍යාව යන යෙදුම යටතේ වෝහාරික මුහුණු සංසන්දනය යන විශ්ලේෂණ ක්‍රමවේදයට, අනුකූල සාක්ෂියක් ලෙස පිලිගැනීමක් ලබා දීමට මෙ සාක්ෂිකරුගේ සාක්ෂිය හරහා පැමිණිල්ල උත්සාහ කරයි. එබැවින් ඔහුගේ සාක්ෂිය දීර්ඝව ඉදිරිපත් කරන ලද අතර, මෙම තීන්දුවේදී එය විස්තරාත්මකව සලකා බැලිය යුතුය. එම තත්වය යටතේ නඩුවේ ඉදිරිපත් වූ සෙසු සියලු සාක්ෂිවල සම්පිණ්ඩනයක් මෙතැන් සිට ඉදිරිපත් කර, ඉන්පසු නුවන් සදගිරිගේ සාක්ෂිය විස්තරාත්මකව සැලකිල්ලට ගනිමි.
නුවන් සඳගිරිට පසු, මෙම නඩුවේ සිදුවීමට අදාල 2022.05.09 දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරලගේ රියදුරු ලෙස කටයුතු කළ එච්.අයි. සමන් කුමාර පැමිණිල්ලෙන් සාක්ෂියට කැඳවන ලදී. ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ සිද්ධිය වූ දින අරලිය ගහ මන්දිරයට යාමට ඔහු ජීප් රථය පදවාගෙන ගිය බවත්, ඔහුද ඇතුළුව පස් දෙනෙක් රථයේ ගමන් කළ බවත්, මින්නේරියේදී තවත් දෙදෙනෙකු ගමනට එකතු වූ බවත්ය. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් පසු කෙලින්ම බත්තරමුල්ලේ පිහිටි නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ගේ නිවසට ගිය බවත්, එහිදී දිවා ආහාරය ගෙන පස්වරු 01.45 හෝ 02.00 අතර කාලයේදී නැවත පොළොන්නරුවට යාමට ජීප් රථයෙන්ම පිටත් වූ බවත්, රථය නිට්ටඹුවට පැමිණෙන විට සවස 02.45 ත් 03.15 ත් අතර වූ බවත්, නගරයේදී පොලු ආදිය රැගත් කණ්ඩායමක් රථය නැවැත්වූ බවත් ඔහුගේ සාක්ෂියයි. ගමන අතරමගදී සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලය පරීක්ෂා කරමින් පැමිණියත් පහර දීම් සිදු වූ බව ආරංචි නොවූ බව ඔහු කියා සිටියේය. පාරේ සිටි එකී කණ්ඩායම රථය පාරේ නවත්වා රථය තුල සිටි සියලු දෙනා බස්සවා ගත් බවත්, එම රථයේ තිබී මන්ත්‍රීවරයාගේ ලිපි ශීර්ෂයක් සොයා ගෙන ඔවුන් මන්ත්‍රී දෙසට දිව ගිය බවත්, එම අවස්ථාවේදී වෙඩි ශබ්ද ඇසුණු බවත්,තමා ඇතුළු සියලු දෙනා දිව ගිය බවත් සාක්ෂිකරු කියා සිටියේය.
සමන් කුමාර වැඩි දුරටත් කියා සිටියේ දිව ගිය ඔහු නිවසක වැසිකිලියක සැඟවී සිටි බවත්, යම් වේලාවකට පසු කණ්ඩායමක් පැමිණ ඔහුව අල්ලාගෙන පහරදුන් බවත්ය. මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා මිය ගිය බව ඔවුන් තමාට දැනුම් දුන් බවත්, එක් අයෙකු තමාගේ කලිසම ගලවා ගත් බවත් ඔහු කීවේය. එම කලිසමේ තමාගේ පසුම්බියත්, ජිප් රථයේ යතුරත් තිබුණු බව සාක්ෂිකරු කියා සිටි අතර, 2022.05.10 දින තමන් නිට්ටඹුව පොලිසියට ප්‍රකාශයක් දුන් බවද සාක්ෂිකරු සිය සාක්ෂියේදී කියා සිටින ලදී.
එම සාක්ෂිකරු කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඔහු සහභාගී වූ බවත්, එහිදී සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගත් බවත්ය. නඩුවේ සාක්ෂි දෙන අතරතුර, එම හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ඔහු විසින් හඳුනාගත් බව කියා සිටි තැනැත්තන් විත්ති කූඩුවේ සිටින බවට ඔහු 1, 8, 14, 17 සහ 18 චුදිතයන් පෙන්වමින් හඳුනා ගන්නා ලදී. පළමුවන වුදිත රථය නැවැත්වූ අවස්ථාවේදී උදළු මිටක් අතේ තබාගෙන සිටි තැනැත්තා බවත්, අටවන චුදිත රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටිමින් මන්ත්‍රීවරයාට උදළු මිටකින් පහරදුන් තැනැත්තා බවත්, දහහතරවන චූදිත එම ස්ථානයේ හැසිරෙමින් සිටි බවත්, දාහත්වන වූදිත තමාගේ කලිසම ගලවා ගත් තැනැත්තා බවත්, දහ අටවන වූදිත තමාගේ හැඳුනුම්පත තබාගෙන සිටි තැනැත්තා බවත් සාක්ෂිකරු විස්තර කරන ලදී. තමාගේ පසුම්බියෙහි තම බිරිඳගේ බැංකු කාඩ්පත තිබුණු බවද ඔහු කියා සිටියේය.
තමාගේ පසුම්බියේ තිබුණු තම බිරිඳගේ බැංකු කාඩ්පත නැති බව දැන ගත්තේ සිද්ධියෙන් දින 10 කට පසු බිත්තර වී මිලදී ගැනීමට මුදල් ලබා ගැනීමට තමාගේ බැංකුවට ගිය විට බව සාක්ෂිකරු කියා සිටියේය. ගිණුමේ තිබිය යුතු මුදල් නොමැති බව සහ නිට්ටඹුව ආසන්න ප්‍රදේශයකදී ඇයගේ බැංකු කාඩ්පත මගින් භාණ්ඩ මිලදී ගැනීම් සිදු වී ඇති බව බැංකු නිලධාරීන්ගෙන් සාක්ෂිකරුට දැනගන්නට ලැබී ඇත. මෙම සාක්ෂිකරුගේ බිරිඳගේ බැංකු ගිණුමේ වාර්තාව පැ.64 ලෙස සාක්ෂියේදී ලකුණු කරන ලදී. එම ගිණුමට අදාල බැංකු කාඩ්පත නඩුවට අදාල කාල සීමාවේදී භාවිතා කර ඇති ආකාරය එකී ගිණුම් වාර්තාවේ දැක්වේ. සාක්ෂිකරු සාක්ෂි කූඩුවේ සිටිමින් ඔහුගේ බිරිඳගේ බැංකු කාඩ්පත හඳුනාගෙන පැ.62 ලෙස ලකුණු කරන ලදී. මෙම සාක්ෂිකරුට නඩුවේ ලකුණු කරන ලද වීඩියෝ දර්ශන කීපයක් පෙන්වා දෙන ලද අතර එම වීඩියෝ වල දැක්වෙන ජිප් රථයේ අමතර රෝදය තමා පැදවූ රථයේ රෝදය ලෙසත්, පිටුපස දොර තමා එදින පැදවූ රථයේ දොර බවත් හදුනා ගැනීමෙන් පසු අමතර රෝදය පැ.66 ලෙසද, පිටුපස දොර පැ. 65 ලෙසද, සම්පූර්ණ ජිප් රථය පැ. 67 ලෙසද ලකුණු කරන ලදී.
මෙම සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න වලදි 2, 5, 8, 11 වුදිතයන් වෙනුවෙන් ඌනතා පහක් පෙන්වා දෙන ලදී. තවද 1,3,4,7,15,16,17,19,21,25,26,29,41 වුදිතයන් වෙනුවෙන් 17 වී(ii) ලෙස වැදගත් පරස්පරතාවයක් ලකුනු කරන ලදී. ඔහු සාක්ෂියේදී කියා සිටියේ ඔහු දිව ගොස් නිවසක වැසිකිලියක් තුල සැඟවී සිටියදී ඔහුව අල්ලාගත් පිරිසෙන් අයෙකු ඔහුගේ කලිසම සමග පසුම්බිය ලබාගත් බවත්, ඒ තුල ඔහුගේ ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය සහ බිරිදගේ බැංකු කාඩ්පත තිබුනු බවත්ය. පොලිසියට ඔහු දුන් ප්‍රකාශයේ කියා ඇත්තේ රියදුරු බලපත්‍රය සහ බැංකු කාඩ්පත රථයෙන් බැස්ස විගස එහි සිටි පිරිස විසින් ලබාගත් බවයි.
එම වෙනස මෙසේ පරස්පරතාවයක් ලෙස ලකුණු කරන ලදී. එය ඔහුගේ පසුම්බිය බලෙන් ලබා ගැනීමට අදාලව වැදගත් පරස්පරතාවකි. 17 වී2 පරස්පරතාවය ලෙස ලකුණු කර ඇත්තේ, ඔහු ජිප් රථයෙන් බැස සිටියදී කිසිවෙකු ඔහුව අල්ලාගෙන නොසිටි බව සාක්ෂියේදී කියා සිටීමත්, ඔහුව අල්ලාගෙන සිටි අය ඔහුව අතහැර වෙඩි තබන බව කියමින් දුව ගිය බව පොලිස් ප්‍රකාශයේ කියා සිටීමත්ය. 17 වී3 පරස්පරතාවය වන්නේ තමාගේ ෂට් එක සහ කලිසම ගැලවූයේ එහි සිටි ' කොල්ලන්' බව පොලිසියට ප්‍රකාශ කිරීමත්, සාක්ෂියේදි 17 වන චූදිතතමාගේ කලිසම ගලවාගත් බව ප්‍රකාශ කිරීමත්ය.
එසේ කළ අය ඔහුට මතක නැති බව ඔහුගේ මුල් ස්ථාවරය බවත්, සාක්ෂියේදී 17 වන චුදිත එය කළ බව කියා සිටීම පරස්පරතාවයක් බවත් විත්තියේ ස්ථාවරයයි. එසේම එම සාක්ෂිකරු පොලිස් ප්‍රකාශ තුනක් ලබාදී ඇති අතර ඒ කිසිවක මන්ත්‍රීවරයාට කිසිවෙකු පහර දුන් බව කියා නැත. නමුත් සාක්ෂියේදී කියා සිටියේ 8 වන චූදිත ඇතුලු කණ්ඩායමක් පහර දුන් බවයි. මෙය ද ඌණතාවයක් ලෙස හරස් ප්‍රශ්න වලදි පෙන්වා දෙන ලදී. ඔහුගේ සාක්ෂිය මෙම වැදගත් පරස්පරතා සහ ඌනතා මගින් සැකයට ලක්වන අතර ඒ පිලිබදව මෙම තීන්දුවේ පසුවට වැඩිදුර මාගේ නිගමනය සදහන් කරමි.
18 වන චූදිත වෙනුවෙන් මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන විට 18.වී.1, 18. වී.2, 18. වී.3, 18.වී.4, 18. වී.5 සහ 18. වී.6 යනුවෙන් පරස්පරතා ලකුණු කරන ලදී. 2024/06/27 දින ප.ව.03.55 සටහන්වල 9 වන පිටුවේ අධිකරණය විසින් වාර්තාගත කර ඇත්තේ මෙම පරස්පරතා හය පිලිබදව තීන්දුවේදී තීරණය කරන බවය. එකී පරස්පරතා හයෙන් එම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වයට සුලු බලපෑමක් වන බව මෙම අවස්ථාවේදී, මෙම තීන්දුවේදී තීරණය කරමි. තවත් ඌණතාවයක් 18 වන චූදිත වෙනුවෙන් පෙන්වා දී ඇත.
මෙම සාක්ෂිකරුගේ කාර්යය මණ්ඩල හැදුනුම්පත 18 වන චූදිතගේ අතේ තබාගෙන සිටි බව පොලිස් ප්‍රකාශ තුනෙන් එකක හෝ හදුනාගැනීමේ පෙරට්ටුවේදි හෝ ප්‍රකාශ නොකිරීම එකී ඌණතාවයයි. සාක්ෂියේදී ඔහු 18 වන චුදිත එය අතේ තබාගෙන සිටි බව කියා සිටි බැවින් එම ඌනතාවය ඔහුගේ සාක්ෂියේ විශ්වසනීයත්වයට බලපෑමක් කරයි. 10 සහ 11 චෝදනා සංශෝධනයෙන් පසු නැවත සාක්ෂිකරු කැදවන ලද අවස්ථාවේ 18.වි.9 ලෙස පරස්පරතාවක් ලකුණු කරන ලදී. පොලිස් ප්රකාශයේදී එම සාක්ෂිකරු " කලිසමයි අත්කොට කමිස යයි ගැලෙවුවා " යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවත්, සාක්ෂියේදී කලිසම පමණක් ගැලවු බව කියා සිටීම එකී පරස්පරතාවය වේ. මෙම පරස්පරතාවයද එම සාක්ෂිකරුගේ සාක්ෂියේ විශ්වාසනීයත්වයට යම් තරමකින් අගතිදායී ලෙස ක්‍රියාකාරී වේ.
සබැඳි ලිපි :
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - II කොටස
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - පළමු කොටස
[theleader,lk]