පොලීසිය සමග ගැටුමට ආ සැකකරු වෙඩි කයි

මීතොටමුල්ලේ මත්පැන් ජාවාරමක්

වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට කිසියම් පුද්ගලයෙකු විසින් පහරදී තිබේ.

එහිදී ආත්මාරක්ෂාව සඳහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලැබීය.

පොලීසිය පවසන්නේ, වෙඩි තැබුවේ කලක සිට මත්පැන් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකුට බවය. 

ඊයේ (19) මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර එහිදී වැල්ලම්පිටිය පොලීසිය 
මීතොටමුල්ල වඩුගොඩවත්ත ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් තිබුණි. 

සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයකින් රැගෙන යද්දී ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසියේ රාජකාරියට බාධා කර තිබුණි. 

එහිදි ඇති වූ බහින්බස්වීම අතරතුර අදාළ පුද්ගලයා පොලිස් නිලධාරියෙකුට හිසෙන් පහරදී ඇත.

පොලීසිය පැවසුවේ, එහිදී පොලීසියට පහරදුන් පුද්ගලයාගේ පුත්‍රයාද  පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බවය. 

එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයෙකු ආත්මාරක්ෂාව තකා සිය රාජකාරී ගිනි අවියෙන් සැකකරුට වෙඩි තබා තිබේ. 

එම වෙඩි ප්‍රහාරය වැදී ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ දකුණු පාදයේ යටි පතුලටය.

මෙම සිද්ධිය අතරවාරයේ පොලිස් අත්අඩංගුවට පත්වී සිටි සැකකරු ත්‍රිරෝද රථයෙන් බැස පළාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු සහ ඔහුගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.