තමන්ට භාරදෙන නඩු සඳහා තරාතිරම නොබලා පෙනී සිටීමට සියලු නීතිඥයෝ බැඳී සිටිති | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

තමන්ට භාරදෙන නඩු සඳහා තරාතිරම නොබලා පෙනී සිටීමට සියලු නීතිඥයෝ බැඳී සිටිති | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ අගනුවර ආසන්නයේ නව යුද හමුදා මූලස්ථානය අසල ජනාකීර්ණ ප්‍රදේශයක දී දහවල් කාලයක දී අමානුෂික ලෙස සිය මෝටර් රිය තුළදී වෙඩි තබා මරා දමා වෙඩික්කරුවන් පලා ගොස් තිබේ.

නමුත් ඊට ටික වේලාවකින් ඉතා වේගයෙන් ප්‍රකාශ වන්නේ එම නීතිඥවරයා පාතාලයේ පුද්ගලයෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට පසුව ඉන් ඉවත් වී ප්‍රතිවිරුද්ධ පාතාලයේ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති බවත්, ඒ හේතුවෙන් මුල් පුද්ගලයා විසින් ඔහු සහ ඔහු ගේ බිරිඳ එසේ ඝාතනය කළ බවත් ය.



කරුණු එසේ නම් නීතිඥවරයාගේ බිරිඳ මරා දමන්නේ ඇයි?එමෙන්ම ප්‍රවෘත්ති පිටපතක් කියන්නාක් මෙන් එතරම් ඉක්මනින් මේ තොරතුරු ප්‍රකාශ කිරීමට මේ පිළිබඳව මෙතරම් හොඳින් දැන සිටියේ කවුද? තොරතුරු ප්‍රකාශ කළේ “පාතාලයේ මාධ්‍ය ප්‍රකාශක” ද? පොලිසිය මේ පිළිබඳව කලින් දැනුවත්ව සිටියේද? පොලිසිය මේ පිළිබඳව එසේ කල් ඇතිව දැනුවත්ව සිටියේ නම් ඒ පිළිබඳව එම නීතිඥවරයාට අනතුරු අඟවා ආරක්ෂාව සලසා දිය යුතුව තිබුණා නොවේද?

 

 

කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ මෙම ඝාතනය මුල් කොට පාතාල පුද්ගලයන් වෙනුවෙන් නීතිඥයන් අධිකරණයේ පෙනී සිටීම හුවා දක්වමින් සමහර අශීලාචාර පුද්ගලයන් විසින් නීතිඥ ප්‍රජාව වෙත බරපතල විවේචන එල්ල කරනු ද දක්නට ලැබේ. එය අතිශයින් පිළිකුල් සහගත ය. අපරාධකරුවන් ලෙස හඳුන්වනු ලබන පුද්ගලයන් උදෙසා නීතිඥ සහාය ලබා නොදිය යුතු බව පවසමින් සමහර පුද්ගලයන් විසින් මහජනයා අතර මතයක් පතුරුවා ඇත. සමහර නඩුවලදී එලෙස සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදෙන ලෙස සමහර පුද්ගලයන් උද්ඝෝෂණය කරනු ද දක්නට ලැබේ. නමුත් ශ්‍රී ලංකාවේ භාවිතා වන නීතිය අනුව මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුව ද, මානව හිමිකම් සම්මුති සහ ගිවිසුම් අනුව ද එය කිසිසේත්ම සිදු කළ නොහැක්කක් බව වටහා ගත යුතුව ඇත.

 

common law

 

ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය එක්සත් රාජධානියේ අධිකරණ ක්‍රමවේදයේ ආභාෂය ලබා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ නඩු විභාග සඳහා භාවිත වන්නේ පොදු නීති පද්ධතියට (Common Law) අයත් ප්‍රතිවාදී ක්‍රමවේදයයි (Adversarial System). මෙහි දී විනිසුරුවරයා මධ්‍යස්ථව සිටින අතර නඩුවේ දෙපාර්ශ්වයේ නීතිඥවරු අදාළ චෝදනාවන්ට අදාළව සාක්ෂි ඉදිරිපත් කරමින්, හරස් ප්‍රශ්න අසමින්, තර්ක සහ ප්‍රතිතර්ක ඉදිරිපත් කරති. අපරාධයක් නම් අදාළ චෝදනා රජයේ පාර්ශ්වය විසින් එනම් නීතිපතිවරයා විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු ය. චූදිතයා විසින් තමන්ට එරෙහිව ඇති සාක්ෂි බිඳ හෙළීම හෝ සාධාරණ සැකයක් මතු කිරීම සිදු කළ යුතු ය.

 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් විනිසුරුවරයා තමන්ගේ අදහසට අනුව තීන්දුව ලබා දෙයි. එනම් මෙහිදී තීන්දුව ප්‍රකාශ කරනුයේ ඇත්ත වශයෙන්ම “සත්‍යය සහ යුක්තිය” පසඳලන අයුරින් නොව, දෙපාර්ශ්වය අධිකරණය හමුවේ දක්වන කරුණු අනුව විනිසුරුවරයා දරන මතය අනුවයි. නමුත් එක් එක් විනිසුරුවරයා හිතන ආකාරය අනුව වෙනස් වේ. ඒ නිසාම බහු විනිසුරු අධිකරණවලදී නඩුවක එකම තර්ක විතර්කවලට ඇහුම්කන් දෙන විනිසුරුවරු අවසානයේදී බෙදුණු තීන්දු ලෙස එකිනෙකට පටහැනි තීන්දු ලබා දෙති.

 

Can You Divorce From A Common Law Marriage

 

මේ සංසිද්ධිය නීති විද්‍යාවේ දාර්ශනික පදනමක් වන යථාර්ථවාදී ගුරුකුලයට (Realist School) අයත් ඇමෙරිකානු ප්‍රායෝගිකවාදය (American Pragmatism) මගින් මනාව පැහැදිලි කර තිබේ. තර්ක සහ විනිසුරුගේ මතය අනුව තීරණ ලබා දෙන නිසා බලා සිටින ජනතාවට බොහෝ විට තේරෙන්නේ නීතිඥයන් බොරු කියා “අපරාධකරුවන්” නිදහස් කරගන්නා බවයි. නමුත් එය ඇත්තෙන්ම වැරදි අදහසකි. එය මේ ක්‍රමයේ ආවේණික ලක්ෂණයක් පමණි. එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල මේ ක්‍රමය භාවිතා වේ.

 

නමුත් ලෝකයේ භාවිතා කරන අනෙක් ප්‍රධානතම අධිකරණ ක්‍රමවේදය වන සිවිල් නීති (Civil Law) පද්ධතියට අදාළ විමර්ශනාත්මක ක්‍රමවේදය (Inquisitorial System) මීට වඩා වෙනස් ය. එහි දී නඩුව මෙහෙයවීම සිදු කරන්නේ විනිසුරුවරයා විසිනි. සාක්ෂි සොයා ගන්නේ අධිකරණයයි. හරස් ප්‍රශ්න හෝ පූර්ව අධිකරණ තීන්දු මෙම ක්‍රමයේ දී එතරම් සැලකිල්ලකට භාජනය නොවේ. ක්‍රියාකාරීව සත්‍ය සෙවීම විනිසුරුගේ වගකීම වන අතර පූර්ව අධිකරණ තීන්දු නොතකා ලිඛිත නීති මත තීන්දු ලබා දෙයි. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවල් මේ ක්‍රමය අනුගමනය කරයි.

 

common law

 

දේශීය සහ ජාත්‍යන්තර නීතියට අනුව සෑම චූදිත පුද්ගලයෙකුම වරදකරුවකු ලෙස ඔප්පු වනතුරු නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතු වේ. චූදිත තැනැත්තෙකුට එරෙහිව ඉදිරිපත් වන කරුණු අනුව විනිසුරුවරයා සැකකරු වරදකරු හෝ නිවැරදිකරු කරනු ඇත. තීන්දුවෙන් අතෘප්තියට පත්වන පාර්ශ්වයකට දෙවරක් අභියාචනයකට සාමාන්‍යයෙන් ඉඩ ප්‍රස්ථාව ඇත (ත්‍රිපුද්ගල මහාධිකරණයකින් ලබාදෙන තීන්දුවකට එරෙහිව අභියාචනය කළ හැක්කේ තව එක් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි). මේ අනුව නීතිපතිවරයා රජය වෙනුවෙන් තර්ක ඉදිරිපත් කරන අතර චූදිතයා වෙනුවෙන් ඔහු හෝ නීතිඥයෙකු කරුණු දැක්විය යුතු වේ.

 

අධිකරණයේදී නීති තර්ක මත පදනම් වන නිශ්චිත ආකෘතිමය ස්වරූපයකින් නඩු විභාගය ගෙන යන නිසා සාධාරණ නඩු විභාගයක් උදෙසා නීතිය පිළිබඳව දැනුම ඇති නීතිඥ වරයකුගේ සහාය ලබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. එසේ නොවේ නම් නීතිය පිළිබඳව හසල දැනුමක් ඇති නීතිපතිවරයා නියෝජනය කරන නීතිඥයන් සමඟ නීතිය නොදත් සාමාන්‍ය පුද්ගලයන්ට තර්ක කිරීමට හෝ අධිකරණයට ඒත්තු යන පරිදි ආකෘතිමය ක්‍රමවේදයට තර්ක කොට නඩුව ඉදිරියට ගෙනයා නොහැක. මේ හේතුවෙන්ම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ (ICCPR Act No. 56 of 2007) 13 වගන්තිය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සෑම පුද්ගලයකුටම අවශ්‍ය නම් නීතිඥ සහාය ලබාදිය යුතු බව දක්වා ඇත. මේ අනුව නීතිඥවරුන් කිසිවෙකු පෙනී නොසිටිය ද සැකකරුට නීතිඥ සහාය අවශ්‍ය නම් ඒ බව විමසා අධිකරණය විසින් නොමිලේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු පත් කරනු ලැබේ. එවිට සිදුවන්නේ මේ චූදිතයන්ට කිසිදු මුදලක් වැය නොකර නීතිඥ සහාය ලබාදීමයි.

 

back of woman authorny on courtroom talking to magistrate in court. The law adjustment concept

 

යම්කිසි පුද්ගලයෙකු පැමිණ නීතිඥවරයෙකුගෙන් තමාගේ නඩු කටයුත්තකට නීතිඥ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහොත් ඉතාම සීමිත අවස්ථාවකදී හැර එය ප්‍රතික්ෂේප කිරීමට වෘත්තීය ආචාර ධර්ම මගින් නීතිඥවරයාට ඉඩප්‍රස්ථාව නැත. මේ සංසිද්ධිය “කුලී රථ මූලධර්මය” (Cab-rank Rule) ලෙස හඳුන්වනු ලැබේ. එය විකසනය වන්නේ බ්‍රිතාන්‍යයේ කුලී රථ රියදුරන් කුලී ගමන් බලාපොරොත්තුවෙන් එක පෙළකට වාහන ගාල් කරගෙන (Cab Rank), කිසිදු භේදයකින් තොරව පළමුවෙන් එන තැනැත්තා පළමු කුලී රථයේද, දෙවැන්නා දෙවන කුලී රථයේද වශයෙන් පිළිවෙළට කුලී ගමන් ලබා ගැනීමේ ක්‍රමයෙනි.

මේ අන්දමින්ම නීතිඥවරයාද තමන් පෙනී සිටින නීති ක්ෂේත්‍රයට අදාළව, තමන්ගේ නිපුණත්වයට අදාළව අය කරන මුදල ලබා දෙන්නේ නම්, ළබැඳියාවන් අතර ගැටුමක් නොවේ නම් සහ එම නඩුවට වෙන් කිරීමට කාලය තිබේ නම් එම නඩුව භාර ගැනීමට ඔහු බැඳී සිටියි. එය සාධාරණ නඩු විභාගයක් සහතික කිරීමට සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය වන අංගයක් වන අතර, මෙම සංකල්පය මුල් වරට 1792 වසරේදී බ්‍රිතාන්‍යයේ ධනවත් සහ ප්‍රමුඛ බැරිස්ටර්වරයෙකු වූ තෝමස් අර්ස්කයින් (Barrister Thomas Erskine) මගින් ඇරඹුණු බව සඳහන් ය.



එවක බ්‍රිතාන්‍යයේ බලවත් දේශපාලන පක්ෂයක් සමග සමීප සබඳතා පවතිමින් තිබියදී, සිය දේශපාලන ජීවිතයට අහිතකර ලෙස බලපා හැකි බවට සිය මිතුරන් විසින් දැක්වූ කරුණු ද නොතකා, රජයට විරුද්ධව කරුණු ඇතුළත් “Rights of Man” නම් පොතක් ලියා පළ කරන ලද පුද්ගලයෙකු වූ තෝමස් පේන් (Thomas Paine) වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට තෝමස් අර්ස්කයින් ඉදිරිපත් විය. චූදිතයා වෙනුවෙන් ඔහු දැක්වූ කරුණු අධිකරණය ඉදිරියේ අසාර්ථක වුවත්, අර්ස්කයින් විසින් ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය අධිකරණයේ ඉතා වැදගත් අපක්ෂපාතී තීරණ ලබා ගැනීම සඳහා වැදගත් වන නීතිඥ සහාය කිසිදු භේදයකින් තොරව ලබාදීම මගින් නීතිඥයන්ගේ නිදහස සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම සිදුකළ යුතු බවයි. මෙම රීතිය ශ්‍රී ලංකාවේ අධිකරණ තුළද ක්‍රියාත්මක වේ.

 

common law34

 

ඒ අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ චූදිත පුද්ගලයා මත හෝ චෝදනාව මත හෝ මහජන විරෝධතා හේතුවෙන් නඩු කටයුතු භාර නොගෙන සිටීමට නීතිඥයන්ට ඉඩප්‍රස්ථාව නොමැති බවකි. ඇත්තෙන්ම සිදු කළ යුතු වන්නේ පොලිසිය විසින් නිසි පරිදි විමර්ශනය කිරීමකින් තොරව සහ සාක්ෂි සොයා නොගෙන අඩුපාඩු සහිතව, එසේම දේශපාලන හෝ වෙනත් බලවේගයන් මත ක්‍රියා කොට පුද්ගලයන් අධිකරණය වෙත යොමු නොකර, අදාළ ප්‍රබල සාක්ෂි නිසි විමර්ශනයකින් සොයාගෙන චෝදනා ගොනු කිරීමයි. එවිට නීතිපතිවරයාට එම චෝදනා ඔප්පු කිරීම ඉතා පහසු වනු ඇත. එසේ නොමැති වූ විට චූදිතයා නිදහස් වීම නීතිඥයා “බොරු කියා” නිදහස් කර ගත්තා වැනි චෝදනා යොමු කිරීම සුදුසු නැත. බොහෝ චූදිතයන් නිදහස් වන්නේ පොලිසිය විසින් සිදුකරන විමර්ශනවල දුර්වලතා නිසාවෙන්ම බව අධිකරණ නඩු තීන්දුවලින් පැහැදිලිවම සනාථ කළ හැක.

 

 


palitha bandara subasinghe

 

(සටහන | නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ)

උපුටා ගැනීම | vinivida.lk

[theleader.lk] 

Search